ජාත්‍යන්තර ජයග්‍රහණ

 

2013/11/28
පසුගිය දා නිමා වූ දකුණු ආසියානු කණිටු මළල ක්‍රීඩා තරගයේදී මව්බිමට වැඩිම පදක්කම් රැගෙන ආ කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ දැරියන් දෙදෙනාට සබරගමුව පළාත් සභාවෙන් මිල මුදල් හා ඉඩකඩම් පරිත්‍යාග කරයි.


 

මෙමස 11 වන දා පටන් ඉන්දියාවේ පැවති දකුණු ආසියානු කනිටු මළල ක්‍රිඩා තරගයේ දී දිවයිනට රන් පදක්කම් ගෙන දුන් කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ ශිවන්ති කුමාරි රත්නායක සහ ආර් .එම්.රුමේෂිකා කුමාරි රත්නායක යන දැරියන් දෙදෙනාට උපහාර පිදීමේ  හා තිළිණ ප්‍රධානය කිරීමේ උළෙලක් අද (28) එම විද්‍යාලයේදී පැවැත්විනි.
මෙම තරගාවලියට ඉදිරිපත් වූ කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ ශිවන්ති කුමාරි රත්නායක මීටර් 400 රන්පදක්කම ද කාන්තා මීටර් 400X4 රන්පදක්කම ද හිමි කර ගත් අතර ආර් .එම් .රුමේෂිකා කුමාරි රත්නායක කාන්තා මීටර් 100 සහ කාන්තා මීටර් 200 ලෝකඩ පදක්කම් දෙකක්ද,කාන්තා මීටර්  400X4 රන් පදක්කමද දිනා ගැනීමට සමත් වූවාය.
මෙම තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ  නායකත්වය දැරුවේ ද කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ ශිවන්ති කුමාරි රත්නායක විසිනුයි.එම තරගාවලියේ දී ශ්‍රී ලංකාවට වැඩිම පදක්කම් ලබාදීමට මෙම විද්‍යාලයේ දැරියන් දෙදෙනා සමත් වූවාය.
මොවුන් අතුරින් ශිවන්ති කුමාරිට මුදල් ත්‍යාග වලට අමතරව කෑගල්ල නගර සභා ක්‍රිඩාංගණයට යාබදව  පර්චස් 10ක ඉඩම් කොටසක් ද රජය ලබාදීමෙන් පසු ඊට අදාළ හිමිකම් පත ඇයට ප්‍රධානය කිරීම අද (28) සබරගමු මහ ඇමති මහීපාල හේරත් මහතා අතින් සිදු විය.කෑගල්ල නගර මධ්‍ය යේ ඇති  මෙම ඉඩම් කොටස රුපියල් තිස් ලක්ෂයක් පමණ වේ.
රඹුක්කන වැනි  දුර බැහැරක සිට දිනපතා අධ්‍යාපන කටයුතු හා ක්‍රීඩා කටුයුතු වලට සහභාගී වීමට කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයට පැමිණෙන ශිවන්ති කුමාරි හට කෑගල්ලේ නගර සභා ක්‍රීඩාංගණය අසලින් නිවසක් ඉදිකරගැනීමට මෙම භූමිය පරිත්‍යාග කළ අතර නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවිමල් වීරවංශ මහතා සමග එක්ව සාකච්ඡා කොට එම ඉඩමේ නිවසක් ඉදිකිරීමට කටයුතු කිරීමට අපේක්ෂීත බව මහ ඇමතිවරයා පැවසීය.
දරුවන් දෙදෙනාට ලබාදුන් මුදල් තිළිණයට අමතරව ඔවුන් දෙදෙනා සදහාම මසකට රුපියල් දහස බැගින් වටිනා පෝෂණ දීමනා  දෙකක් ද මහීපාල හේරත් ජනසහන පදනමින් අද (28) පරිත්‍යාග කරන ලදී.වසරක් පුරා එම පෝෂණ දීමනාව අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.
මීට අමතර විද්‍යාලයේ ක්‍රීඩා භාර ආචාරිනි කේ.ඩී.නන්දාවතී  මහත්මියට විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය විසින් මුදල් පරිත්‍යාගයක් ද සිදු කරනු ලැබීය.
මෙම අවසථාවට විදුහල්පතිනි මල්ලිකා රණසිංහ,ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගාමන් පතිරණ යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.
  
 2013/09/28
ප්‍රථම ආසියානු පාසල් මලල ක්‍රීඩා උළෙලේ පදක්කම් දිනු අනුරාධ විදුසංඛට උපහාර
මැලේසියාවේ පසුගියදා පැවැති ප්‍රථම ආසියානු පාසල් මලල ක්‍රීඩා තරගාවලියට සභභාගී වී ලෝකඩ පදක්කම් 3ක් දිනාගත් කෑගල්ල සාන්ත මරියා විද්‍යාලයේ ආර්.ඩී.අනුරාධ විදුසංඛ සිසුවාට උපහාර පිදීමක් ඊයේ එම විදුහලේදී පැවැත්විණි.
එම තරගාවලියට සහභාගීවු අනුරාධ විදුසංඛ මීටර් 400 කඩුලු, මීටර් 400x4 හා මීටර් 100x4 සහය දිවීමේ තරග ඉසව් තුනට ඉදිරිපත්ව ලෝකඩ පදක්කම් දිනා ගත්තේය.
මීට පෙර චීනයේ පැවති දෙවැනි ආසියානු යොවුන් ක්‍රීඩා තරගාවලියේදීත් මීටර් 400 තෙවැනි ස්ථානයට පත්වු අනුරාධ පිළිගැනීම සඳහා වු උත්සවය කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. චීනයේ පැවැති දෙවැනි ආසියානු යොවුන් ක්‍රීඩා තරගයෙන් ඔහු පෑ හපන්කම් අගය කරමින් ඔහුට මුදලින් රුපියල් දෙලක්ෂයක් පිරිනැමීමට මහීපාල හේරත් මහතා දැනටමත් පියවර ගෙන ඇති අතර මෙවර මැලේසියානු පාසල් මලල ක්‍රීඩා උළෙලට සහභාගි වීමට ගුවන් ටිකට්පත් ඇතුළු අනෙකුත් අවශ්‍යතා ලබාදීමටද මහීපාල හේරත් මහතා කටයුතු කර තිබිණි.
සාන්ත මරියා විද්‍යාලයේ ප්‍රයෝජනය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා විසින් මේස පන්දු ක්‍රීඩාවට අදාළ උපකරණ ලබාදීම මේ උත්සවයේදී සිදුවිණ.

 

 

උඩවලවෙන් ක්‍රීඩා පිටියටත් රන් මිණි මුතු ගෙන දෙයි

 

ශ්‍රී ලංකාවට ආසියානු රිදී පදක්කමක් මී.110 කඩුලු තරගයෙන් රවිසංඛට

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් හිමි කරදීමට මීටර් 110 කඩුලු මතින් දිවීමේ ක්‍රීඩක අකිල රවිසංඛ පෙරේදා සමත් විය. රවිසංඛ රිදී පදක්කම දිනා ගැනීමට තත්පර 13.99ක කාලයක් ගතකළ අතර රන් පදක්කම දිනූ ජපානයේ ටී.ෆුරයා තත්පර 13.36ක කාලයක් වාර්තා කළේය.
ලෝකඩ පදක්කම චීන තායිපේට හිමි කළ චොන්ග් යී වාර්තා කළ කාලය තත්පර 14.06කි. රවිසංඛ මේ ඉසව්වේ මෙතෙක් වාර්තා කළ හොඳම කාලයද මෙය වීම තවත් විශේෂත්වයකි. මෙයට පෙර ඔස්ට්‍රේලියාවේ පැවැති පාසල් මලල ක්‍රීඩා ශූරතාවලියේදී රවිසංඛ තත්පර 14.38ක දක්ෂතාවකින් රන් පදක්කමක් දිනා තිබුණි
රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ 11 වසරේ අධ්‍යාපනය ලබන 15 හැවිරිදි අකිල රවිසංඛ උඩවලව ප්‍රදේශයේ උපන් පුතෙකි. ඒ.වී.ජී.නිමල් මහතාගේ හා දීපිකා කාන්තිලතා මහත්මියගේ එකම පුතුවූ අකිලට තවමත් පාසල් නොයන කුඩා නැගනියක් සිටී.

රවිසංඛට රිදී පදක්කම හා ක්‍රීඩා උළෙලේ සිහිවටනය ප්‍රදානය කළ අයුරු
   
“තාත්තා පොළේ වෙළදාම් කරලා අපිව ජීවත් කරවන්නේ. එක තැනක් නෑ. වෙළදාම වැඩියෙන් තියෙන පොළවල් හොය හොයා ගිහින් පවුල නඩත්තු කරන්නේ. මූලික වටයේදීම මම හිතුවා තාත්තයි, අම්මයි අපිව දුක් විඳලා හදන එකට කරන ගෞරවයක් ලෙස ආසියානු පදක්කමක් දිනනවාමයි කියලා. මට රන් පදක්කමට යන්න තිබුණා. ඒත් ඒක අහිමි වුණත් ලැබුණු දෙයින් සතුටු වෙනවා. මේක මගේ රටටත් ලොකු දෙයක්”රවි සංඛ පැවැසීය.
පුහුණුකරු ඉන්දික ජයසිංහ මහතාගෙන් ලැබුණු මග පෙන්වීම රවි සංඛ ඉහලින් අගය කළේය. එමෙන්ම පාසලේ විදුහල්පතිතුමා ඇතුලු ගුරුභවතුන් හා යහළුවන් කරන දිරි ගැන්වීමද මේ ජයග්‍රහණයේ සෙවණැලි බව ඔහු පවසයි.
“ඉතාම ආර්ථික අපහසුතා මැද මම ජීවත් වෙන්නේ. ක්‍රීඩා පාසලේ ඉන්න නිසා මට ටිකක් විතර පහසුයි. මගේ මීළග බලාපොරොත්තුව ලබන වසරේ තියෙන යෞවන ඔලිම්පික් තරගයට යන්නයි. ඒ තරගයත් මේ නැංජින් ක්‍රීඩාංගණයේම තියෙන නිසා සිංහ කොඩිය අංක එකට දාන්නයි මට ඕනෑ” රිදියෙන් බැබළුණු රවිසංඛගේ අධිෂ්ඨානය විය.


කෑගල්ල ශා. මරියා විදුහලේ අනුරාධ විදුසංඛ මීටර 400 කඩුලු ඉසවුව ත. 54.5 කින් නිම කරමින්ද අදාළ ලෝකඩ පදක්‌කම දිනා ගැනීමට සමත්වූහ.



හලාවත අඹකඳවිලෙන් හා කෑගල්ල බල්ලපානෙන් රටට ගෞරවයක්

නිශාන්ති දිල්හානී-අනුරාධ විදුසංඛ ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දිනා දෙති

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් අවසන් වූ පෙරේදා දිනයේදී හලාවත අඹකඳවිල ගමේ නිශාන්ති දිල්හානී ප්‍රනාන්දු හා කෑගල්ල බල්ලපානේ අනුරාධ විදුසංඛ ශ්‍රී ලංකා ධජය ඉහලට ඔසවමින් ලෝකඩ පදක්කම් දෙකක් දිනා දුන්හ.

මීටර් 400 කඩුලු මතින් දිවීමේ ලෝකඩ පදක්කම සුරතට ගත් අනුරාධ විදුසංඛ
ඒ අනුව මෙවර ආසියානු මට්ටමේ නැගී එන ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මලල ක්‍රීඩා වලින් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් තුනක් දිනා කලින් ක්‍රීඩා උළෙලට වඩා පියවරක් ඉදිරියට තැබූහ. වසර 2009දී සිංගප්පූරුවේ පැවැති ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව රිදී පදක්කමකට හා ලෝකඩ පදක්කම් දෙකකට සීමාවී තිබුණි.
චීනයේ නැංජින් හී ඔලිම්පික් ක්‍රීඩාංගණයේ හතලිස් දහසක පමණ ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ පෙරේදා පැවැති මීටර් 800 තරගයේදී නිශාන්ති දිල්හානි විනාඩි 2:15.72කින් තරගය නිමා කළ අතර රිදී පදක්කම දිනූ මැලේසියාවේ ජොගින්ද්‍ර සිං විනාඩි 2:14.14කින් ද, රන් පදක්කම දිනූ ස්වාධීන ඔලිම්පික් සම්මේලනයේ (ඉන්දියාව ජගත් ඔලිම්පික් තහනමකට ලක්ව ඇති බැවින්) අන්ජනා දවාලූ විනාඩි 2:11.47කින් ද තරගය නිම කළහ.
මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරගයේදී අනුරාධ විදුසංඛ තත්පර 54.05කින් තරගය නිම කළේ තම ධාවන දිවියේ පෞද්ගලික හොඳම දක්ෂතාව සටහන් කරමිණි.
ඔහු මූලික වටයේදී තත්පර 54.06ක කාලයක් වාර්තා කළේය. මේ තරගයේ රිදී පදක්කම දිනූ ඉරානයේ ජාවිඩ් ෂොහොර්යාබී තත්පර 53.89කින් හා රන් පදක්කම දිනූ තායිලන්තයේ විතාවාට් තුම්කා තත්පර 52.79කින්ද තරගය නිම කළහ.
මීටර් 800 ලෝකඩ පදක්කම දිනූ නිශාන්ති දිල්හානී කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන 16 හැවිරිදි ශිෂ්‍යාවකි. ඇගේ පියා හලාවත ප්‍රදේශයේ ධීවර රැකියාවේ නියුතු අන්තොනී ටියුඩර් මහතා වන අතර මව රීටා මාග්‍රට් වේ. පාසලේම පුහුණුකරුවන ජනිත නදීශාන් මහතාගේ මඟ පෙන්වීම මත පිටියට පිවිසෙන ඇය පසුගිය වසරේ ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 800 ශූරිය බවට පත් වූවාය.
“අපේ ගමේ හා අපේ ගෙදර අයගේ බලාපොරොත්තුව මා ක්‍රීඩාවෙන් ඉදිරියට යනවා දකින්න. ඒ වගේම පාසලේ යහළුවෝ, ගුරුවරු වගේම ප්‍රින්සිපල් සර් ඇතුලු සියලු දෙනා මගේ ජයග්‍රහණයට අත්පොලසන් දෙන්න ඇති.

මීටර් 100 නිදහස් ආර අවසන් තරගයට සුදුසුකම් ලැබූ
මැතිව් අඹේසිංහ.
අම්මගේ තාත්තාගේ අතට දිනා ගත්ත මේ ලෝකඩ පදක්කම ගිහින් දෙනකල් මට ඉවසිල්ලක් නෑ”නිශාන්ති දිල්හානී හැගීම් බරව පැවැසීය. “අපි වගේ අමාරුවෙන් ක්‍රීඩාව කරන අය සොයා උදව් කරන්න කවුරුහරි ඉන්නවානම් ගොඩක් වටිනවා. මගේ බලාපොරොත්තුව තව තවත් ජයග්‍රහණ ලබා රටට සේවයක් කරන්නයි” ඇය පැවැසුවාය.
මීටර් 400 කඩුලු මතින් දිවීමේ ලෝකඩ පදක්කම දිනූ අනුරාධ විදුසංඛ කෑගල්ල ශාන්ත මරියා විදුහලේ අපොස සාමාන්‍ය පෙළ හදාරන 16 හැවිරිදි සිසුවෙකි. ඔහුගේ පියා බල්ලපාන ප්‍රදේශයේ සුළු ව්‍යාපාරික එස්.ගුණපාල මහතා වන අතර මව ආර්.රම්‍යලතා මහත්මියයි. අනුරාධගේ පුහුණුකරු ලලිත් ලියනගේ මහතාගේ කැපවීම මත පසුගිය සබරගමු පළාත් ක්‍රීඩා උළෙලේදී මේ ඉසව්වේ නව තරග වාර්තාවක්ද (තත්.54.06) බිහි කිරීමට විදුසංඛ සමත් විය.
“මගේ ජීවිතයේ සතුටුම දවස අදයි. මේක ලෝකඩ වුණාට මට රත්තරං වගේම වටිනවා. නැංජින් ක්‍රීඩා උළෙල මගේ ජීවිතයෙන් අමතක වෙන්නේ නෑ. මේ මගේ මුල්ම ජාත්‍යන්තර පදක්කමයි. මට රිදී පදක්කමට යන්න ලොකු උවමනාවක් තිබුණා. මට ඉදිරියෙන් ගිය ඉරාන ක්‍රීඩකයා ගොඩක් උසයි.

මීටර් 800 ලෝකඩ පදක්කම දිනූ නිශාන්ති දිල්හානී ඡායාරූප:
ප්‍රින්ස් ගුණසේකර
ඒ වාසිය ඔහුට ලැබෙන්න ඇති. මගේ මේ ජයග්‍රහණය පාසලේ විදුහල්පතිතුමා, ගුරුවරු, යහළුවෝ වගේම මගේ පුහුණුකරු හා අම්මා තාත්තා ඇතුලු ගමේ හැමෝගේම ජයක්” විදුසංඛ පැවැසීය.
මේ අතර පදක්කම් පිපාසයෙන් සිටින පිහිනුම් ක්‍රීඩක මැතිව් අඹේසිංහ මීටර් 100 නිදහස් ආර අවසන් පූර්ව තරගයේදී තත්පර 52.42ක කාලයක් වාර්තා කොට අවසන් තරගයට සුදුසුකම් ලබාගත් අතර මචිකෝ රහීම් මීටර් 100 නිදහස් ආර ඉසව්ව තත්පර 59.88කින් නිමකර 10 වැනි ස්ථානයට පත්වූවාය.
පිරිමි උස පැනීමේ තරගයේදී උදන්ත බණ්ඩාර මීටර් 1.90කින් 6වැනි ස්ථානයට පත්වූ අතර මීටර් 200 අවසන් පූර්ව තරගයේදී ඉසුරු දිල්ෂාන් බලාපොරොත්තු නොවූ පරිදි ධාවන පථයේ ඇඳ වැටීමෙන් ඉවත් විය.
මලල ක්‍රීඩා ශූරතාව චීනයට
රන් පදක්‌කම් 18ක්‌ රිදී පදක්‌කම් 9ක්‌ හා ලෝකඩ පදක්‌කම් 6ක්‌ දිනාගත් චීනය ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ශූරතාව දිනාගැනීමට සමත් විය. ශ්‍රී ලංකාව රිදී 1ක්‌ හා ලෝකඩ පදක්කම් 3ක්‌ දිනා ආසියාවේ රටවල් 44කින් 12වැනි ස්‌ථානයට පත් විය. රන් පදක්කම් දිනාගත් රටවල් අනුව 12වැනි ස්ථානයේ සැළකුවද පදක්කම් එකතුව අනුව ආසියාවේ 6වැන් ස්ථානයට ශ්‍රී ලංකාව පැමිණ තිබේ.
ශ්‍රී ලංකා ක්‍රීඩක පිරිසක් කොළඹට
තරග නිමා කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා ගම්මානයෙන් තම රටවල් බලා පිටත්වීම ආරම්භ කොට ඇත. වෙඩි තැබීමේ හා බර ඉසිලීමේ තරගවලට එක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පෙරේදා ශ්‍රී ලංකාවට පිටත්වූ අතර, සත් සාමාජික රගර් හා ටේබල් ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 21 වැනිදා චීනයෙන් ශ්‍රී ලංකාව බලා පිටත් වූහ


ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 37ක්


ප්‍රින්ස් ගුණසේකර

චීනයේ නැංජින් හි දී මේ මස16වැනිදා සිට 24වැනිදා දක්වා පැවැත්වෙන දෙවැනි යොවුන් ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 37ක් සහභාගි වෙති. මේ පිරිස 13වැනිදා නැංජින් බලා පිටත්විමට නියමිතය.

මෙයට අමතරව මීළඟ යොවුන් ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට පිරිනැමෙන හෙයින් රාජතාන්ත්‍රක මට්ටමේ දූත පිරිසක් 22දා චීනයේ නැංජින් බලා පිටත්වීමට නියමිතය.

අවුරුදු 14 -16 අතරේ පසුවන යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වෙනුවෙන්ම ඇති මේ ක්‍රීඩා උළෙලට රටවල්45කින් 1500ක් පමණ එක්වෙති.

මෙවර ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට ක්‍රීඩා 17ක් ඇතුළත් වන අතර ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ක්‍රීඩා 8ක් නියෝජනය කරති. පිහිනුම්, මලල ක්‍රීඩා, රගර්, වෙඩි තැබීම, ස්කොෂ්, ටේබල් ටෙනිස්, ටෙනිස් හා බර ඉසිලීම ශ්‍රී ලංකාව සහභාගි වන ක්‍රීඩා වේ. සත් සාමාජික රගර් තරගාවලියට ක්‍රීඩකයන් 11ක් සහභාගි වෙති. මලල ක්‍රීඩා තරගවලට ක්‍රීඩකයන් 6ක් හා ක්‍රීඩිකාවන් 4ක් ද ටේබල් ටෙනිස් තරගවලට ක්‍රීඩකයන් 2ක් හා ක්‍රීඩිකාවන් 2ක්, වෙඩි තැබීමේ ඉසව්වලට ක්‍රීඩිකාවක් හා ක්‍රීඩකයන් 2ක් ද සහභාගි වෙති.

පිහිනුම්, ස්කොෂ්, ටෙනිස් හා බර ඉසිලීමේ ක්‍රීඩා තරගවලට ක්‍රීඩකයකු හා ක්‍රීඩිකාව බැගින් සහභාගි වෙති.

අවසන් වරට 2009දී සිංගප්පූරුවේ පැවැති ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ දී ක්‍රීඩා 5කට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 30ක් සහභාගි වී මලල ක්‍රීඩායෙන් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් 2ක් දිනා ගත්තේය.

වසර 2017දි ශ්‍රී ලංකාවට මේ ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය හිමිවන බැවින් මෙවර ක්‍රීඩා උළෙලේ දී නිල සත්කාරකත්වය පිරි නැමීම සිදුවේ. නැංජින් ක්‍රීඩා උළෙලේ සමාප්ති දිනයේ දී ආසියානු ඔලිම්පික් කමිටුව මගින් 2017 යොවුන් ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ජාතික ඔලිම්පික් කමිටුව හරහා ශ්‍රී ලංකාවට පිරි නමයි.

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙ‍සේය.

සත් සාමාජික රගර් :- ශාමික කුරුඹලා පිටිය, ගයාශාන් සාරංග, ජෝජ් රයන් වීරකෝන්, කෙවීන් ඩික්සන්, කුෂාන් ඉඳුනිල්, ලසිඳු ඉෂාන්, මොහොමඩ් තරීක්, රමේෂ් රුක්මාල්, තුවාන් ෂමීර් බුරා, ඔමල්ක පූර්ණ ගුණරත්න, ඩෙවොන් ෂෙනාල් ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුසංඛ වීරසේකර, ප්‍රියංකර මංජුල (කළමනාකරු), ඉම්ටි මරික්කාර් (පුහුණුකරු), ගැමුණු විජේසූරිය (අභ්‍යාසක)

මලල ක්‍රීඩා කාන්තා :- චංචලා දිසානායක (මී.100), කුමුදුලී විජේසිරිවර්ධන (දුර පැනීම), නිර්මාලි මධුෂිකා (මී.400), නිශාන්ති ප්‍රනාන්දු (මී. 800, 1500), ශිරෝමී ප්‍රියදර්ශනී ප්‍රනාන්දු (කණ්ඩායම් භාර නිලධාරිනී)

 පිරිමි :- අකිල රවිසංඛ (මී.110 කඩුල රත්නපුර සී.ම.ම.වි.ු ), අනුරාධ විදුසංඛ (මී.400 කඩුලු ), අරෝෂා ඉසුරංග (මී.100), ඉසුරු දිල්ශාන් විජේරත්න (මී.200), උදයන්ත බණ්ඩාර නවරත්න (උස පැනීම), ෂෙහාන් ලක්ෂිත ප්‍රනාන්දු (මී.400), ජයලාල් රත්නසූරිය (පුහුණුකරු), ජනිත නදීශාන්ත (පුහුණුකරු)

ටේබල් ටෙනිස් - කාන්තා :- රුවිනි සංකල්පනා, උමායා තාරකී

පිරිමි - ඉමේෂ් උදය රණසිංහ, තිළිණ විමුක්ති, රජිත බණ්ඩාර දික්කුඹුර (කණ්ඩායම භාර නිලධාරී)

වෙඩි තැබිම :- කාන්තා - ප්‍රනීතා වාසුදේවන් (මී.10. වායු රයිෆල්)

පිරිමි - කෝන් ඕමාර් (මී.10 වායු රයිෆල්), කසුන් සමරනායක (මී.10 වායු රයිෆල් ), බන්ධුල දුෂාන් (කණ්ඩායම භාර නිලධාරී)

බර ඉසිලීම කාන්තා :- දිනුදා අබේසේකර (කි.ග්‍රෑ. 48) පිරිමි- ඉසුරු උපේක සේනාධීර (කි.ග්‍රෑ.85 ) නිමල් ගමගේ (කණ්ඩායම භාර නිලධාරී)

ටෙනිස් කාන්තා :- නෙත්මි වඩුගේ, පිරිමි :- ෂාමල් දිසානායක, ඒ සිං (කණ්ඩායම භාර නිලධාරී )

ස්කොෂ් -කාන්තා :- මිහිලියා මෙත්සරණි, පිරිමි :-රවිඳු හසින්ත, නිමල් රණසිංහ (කණ්ඩායම භාර නිලධාරී)

පිහිනුම් - කාන්තා :- මචිකෝ සුහර්මී රහීම්, පිරිමි :- මැතිව් ඩන්කන් අබේසිංහ, බුද්ධි මනෝජ් චමින්ද (කණ්ඩායම භාර නිලධාරී)

ආසියානු යොවුන් ක්‍රීඩා කණ්ඩායම භාර ප්‍රධානියා ලෙස ඔලිවියා ගමගේ මහත්මිය කටයුතු කරන අතර වෛද්‍ය ධම්මික සේනානායක මහතා ප්‍රධාන වෛද්‍යවරයා ලෙස ද අනුර ප්‍රියනන්ද කුමාර වෛද්‍ය සහායක ලෙස ද එක්වෙති.